ශීලය
ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවලින් වැළකීම හා තථාගතයන් වහන්සේ විසින් පැන වූ සික පද රැකීම ද වත් පිළිවෙත් කිරීම ද ශීලය ය. තවත් ක්‍රමයකින් කියතහොත් යම් ප්රතිපත්තියකින් කාය වාග් ද්වාර දෙක හා ආජීවය ශුද්ධ වේ නම් ඒ ප්‍රතිපත්තිය ශීලය ය.
ඒ ශීය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු සෑම දෙනාට ම සුදුසු ඇඳුමෙකි. උඩු සුළඟෙහි ද යන්නා වූ ස්වර්ගය තෙක් පැතිරෙන්නා වූ සුවඳෙකි. කෙලෙස් රෝගයට දිව්‍යෞෂධයකි. කෙලෙස් නමැති විෂයට දිව්‍ය මන්ත්‍රයෙකි. පව් නමැති කිලුටු සෝදා හරින්නා වූ දුක් ගිනි නිවන්නා වූ ජලයෙකි. කෙලෙස් සතුරනට ඇතුළු විය නො හෙන බලකොටුවෙකි. සියලු සැපයට හේතුවෙකි. උතුම් ධනයෙකි. මහා බලයෙකි. මහා පිහිටෙකි. දෙව්ලොවට හිණෙකි. සියලු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ තීර්ථයෙකි. නිවනට පිවිසෙන දොරටුවෙකි.
ශීල පදාර්ථය අති විශාලය. එයට අයත් කරුණු බොහෝ ය. ඒ සියල්ල සැමට ම රැකිය නොහෙන බැවින් ගිහිගෙයි වසනුවන්ට රැකිය හැකි වනු පිණිස ශීලාංග පස බැවින් ගෙන පඤ්ච ශීලය හා බ්‍රහ්මචරිය පඤ්ච ශීලය නිර්මිත ය. ශීලාංග අට බැවින් ගෙන අෂ්ඨාංග ශීලය නිර්මිතය. ශීලාංග නවයකින් නවාංග ශීලය ද, ශීලාංග දශයකින් දශ ශීලය ද නිර්මිත ය.
සිල් සමාදන් වීම
සිල් සමාදන් වීමය යන්නෙහි තේරුම ආරක්ෂා කරනු සඳහා ශීලය පිළිගැනීම ය. එය සමාදන් වන කල්හි භික්ෂූන් වහන්සේ කෙනකු ලවා සික පද කියවා ගෙන සමාදන් විය යුතුය. සිල් සමාදන් වෙමියි කියා භික්ෂූන් වහන්සේ කියවන පරිදි සික පද කීයේ ද රක්ෂා කිරීමේ බලාපොරොත්තුව නැති ව කියන්නා ශීලයෙහි නො පිහිටන්නේ ය. ශීලය නො පිළිගත් බැවින්, සිල්සමාදන් වීමට භික්ෂුවක් නැති කල්හි සිල් සමාදන් කරවන්නට දත් අනෙකකුගෙන් ද සමාදන් විය හැකිය. තෙමේ ම සික පද කියා සමාදන් වූවාට වරදෙක් නැත. සික පද කියන්නට පාඩම් නැතිනම් මම බුදුන්වහන්සේ විසින් පනවන ලද මෙනම් ශීලය සමාදන් වෙමියි අධිෂ්ඨාන කර ගත යුතු ය. ඉන්පසු ඉටා ගත් කාලය මුළුල්ලෙහි ආරක්ෂා කළ යුතුය. යම්කිසි වරදක් සිදුවී ශීලය බිඳුන හොත් නැවත සමාදන් විය යුතුය. නො බිඳුන හොත් නැවත සමාදන් වීමට වුවමනා නැත. එහෙත් නැවත නැවත සමාදන් වීමෙන් පිනක් මිස වරදක් නොවේ.
සිල් ඉල්ලන වාක්‍යය
ඕකාස අහං භන්තෙ තිසරණෙන සද්ධිං ..... ධම්මං යාචාමි, අනුග්ගහං කත්වා සීලං දෙථ මේ භන්තෙ, අනුකම්පං උපාදාය. දුතියම්පි අහං භන්තෙ, තිසරණෙන සද්ධිං ..... ධම්මං යාචාමි, අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ, අනුකම්පං උපාදාය, තතියම්පි අහං භන්තෙ තිසරණෙන සද්ධිං.... ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ, අනුකම්පං උපාදාය.
මේ වාක්‍යය කියා සිල් ඉල්ලීම කළ යුතු ය. මෙහි ඉඩ තබා තිබෙන තැන්වලට පන්සිල් ඉල්ලීමෙහි දී “පංච සීලං” ඉතිරි සිල් ඉල්ලීමේ දී අට්ඨාංග උපොසථ සීලං, නවාංග උපොසථ සීලං, දස සීලං” යන වචන සුදුසු පරිදි යොදා වාක්‍යය කිය යුතුය.
පඤ්ච ශීලය
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
(1) බුද්ධං සරණං ගච්ඡාමි
(2) ධම්මං සරණං ගච්ඡාමි
(3) සංඝං සරණං ගච්ඡාමි
(4) දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
(5) දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
(6) දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
(7) තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
(8) තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
(9) තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
මේ තිසරණය සමාදන් වන ක්‍රමය යි. සියලු සිල්ම සමාදන් වීමේදී පළමුකොට තිසරණය සමාදන් විය යුතු ය. එබැවින් මතු දැක්වෙන සියලු ශීලයන්ට ම මෙය යොදා ගත යුතු ය. මේ වාක්‍යවල තේරුම අංක පිළිවෙළින් දක්වනු ලැබේ.
(1) සකල ධර්ම සමූහය තත්ත්වාකාරයෙන් දැන වදාළා වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරමි.
(2) පර්‍ය්‍යාප්ති ධර්මය සහිත වූ නව ලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරමි.
(3) කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ටාර්ය්ය පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරමි.
දුතියම්පි යන්නෙහි තේරුම දෙවනුව ද යනුයි. තතියම්පි යන්නෙහි තේරුම තුන් වනුව ද යනුයි.
සික පද පස
(1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
(3) කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තේරුම :
(1) ප්‍රාණඝාතයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
(2) අදත්තාදානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
(3) කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
(4) බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
(5) මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
මේවා ගැන දතයුතු සියල්ල අකුශල කර්මයන් දැක් වූ තැන විස්තර කර ඇත.
සිල් රැකිය යුතු ආකාරය
ශීලය සමාදන් වී නො රැකිය හොත් එහි ඇති වටිනාකමාක් නැත. සමාදන් වූ ශීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ද, එක් දරුවකු ඇති මව දරුවා රක්නාක් මෙන් ද ඉතා ආදරයෙන් රක්ෂා කළ යුතුය. ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනකු සතුටු කිරීමට හෝ අඹු දරුවන් නිසා හෝ ශීලය නො බිඳිය යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසා ද සිල් නො බිඳිති.
පෙර මේ ලක්දිව උතුරු වඩුන්නාව නමැති ගම විසූ එක්තරා ගොවියෙක් අඹරැළි වෙහෙර වෙසෙන පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී හැසිරෙනුයේ වනයෙහි දී පිඹුරකු විසින් වෙළා ගත් කල්හි වේදනා බලවත් වන විට පිඹුරා මරන්නට සිත් වන බැවින් එයින් වළකිනු සඳහා අත තුබූ කැත්ත දුරට වීසි කෙළේය. එකෙණෙහි පිඹුරා ද ඔහු හැර ගියේය.
පෙර මේ ලක්දිව විසූ ධම්මිකතිස්ස නොහොත් සද්ධාතිස්ස නම් වූ රජතුමා වටුමස් කෑමට ආශාව ඇති වී ඒ බව අනෙකකුට කිවහොත් තමා නිසා වටුවන් මරතියි යන බියෙන් තුන් අවුරුද්දක් ඉවසා සිටියේය.
ඒ රජතුමාගේ කාලයේ විසූ තිස්ස නම් අමාත්‍ය පුත්‍රයා රාජාඥාවෙන් වධක ස්ථානයට ගෙන ගොස් දංගෙඩිය මත නිදි කරවා, මේ කුකුළා මරා පිසූ මසින් රජ්ජුරුවන්ට උපස්ථාන නො කරත හොත් තාගේ හිස සිඳිමි’යි කියා රාජ පුරුෂයන් විසින් කුකුළකු ඔහු අතට දුන් කල්හි ඒ කුකුළා අතට ගෙන ‘මාගේ දිවි තට පුදමි. තාගේ දිවි මම ගනිමි’ යි කියා කුකුළා මුදා හැර ප්‍රාණඝාතයෙන් වැළකී ඒ වෙනුවට මරණීයදණ්ඩනය ද පිළිගත්තේ ය. මෙ බඳු උතුමන්ගේ චරිත ආදර්ශයට ගෙන නොකඩ කොට සිල් රැකීමට උත්සාහ කරත්වා.
බ්‍රහ්ම චරිය පඤ්ච ශීලය
අබ්‍රහ්ම චර්‍ය්‍යාව ය යි කියනු ලබන කාමසුඛාස්වාදය වනාහි ඒ සුඛය පිළිබඳ වූ ලෝභය හා එහි ආදීනව පක්ෂය වසන්නා වූ මෝහයත් නිසා සත්ත්වයන් විසින් උතුම් කොට සලකන නමුත් තථාගතයන් වහන්සේගේ දර්ශනයේ සැටියට නම් එය නිස්සාර වූ බොහෝ දුක්වලට හේතු වන්නා වූ දෙයකි. ඒ කාම සුඛය ස්වප්නයක් බඳු බව ද, ණයට ගත් දෙයක් බඳු බව ද, මස් නැති ඇට කැබෙල්ලක් බඳු බව ද, සර්ප හිසක් බඳු බව ද, තණ සුලක් බඳු බව ද, මස් කපන කොටයක් බඳු බව ද, මස් කපන පිහියක් බඳු බව ද, බුදුන් වහන්සේ වදාළ සේක.
“අබ්රහ්මචරියං පරිවජ්ජයෙය්ය
අංගාර කාසුං ජලිතංව විඤ්ඤූ”
යනුවෙන් දිලිසෙන ගිනි අඟුරු වළක් මෙන් නුවණැත්තේ අබ්‍රහ්මචර්‍ය්‍යාව හරනේ ය යි වදාළ සේක.
අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකී සිටීමේ අනුසස් බොහෝ ය. අබ්‍රහ්මචර්‍ය්‍යාව නිසා විඳින්නට වන දහස් ගණන් දුක් කරදරවලින් මිදෙන බව ද, නිරෝගී වන බව ද, වහා ජරාවට නො පැමිණෙන බව ද, දීර්ඝ කාලයක් ජීවත් විය හැකි බව ද, සිහි නුවණ වැඩීම ද, තේජස වැඩීම ද, ඉන්ද්රිය ශක්තිය හා කාය ශක්තිය ද, වර්ණය කල් පවත්නා බව ද, මරණින් මතු ස්වර්ගගාමී විය හැකි බව ද, බ්‍රහ්මචර්‍ය්‍යාවේ ආනිසංසයෝ ය. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් ගිහියන් විසින් ද රැකිය හැකි නම් බ්‍රහ්මචර්‍ය්‍යාව රක්නට වටනේ ය. එය රැකිය හැකියවුන් විසින් නිත්‍යශීලය වශයෙන් බ්‍රහ්මචර්‍ය්‍ය පඤ්චශීලය රක්ෂා කළ යුතු ය. බ්‍රහ්මචර්‍ය්‍ය ශීලය සමාදන් වන්නහු විසින් සාමාන්‍ය පඤ්චශීලයේ තුන් වන සික පදය හැර එය වෙනුවට “අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන්න යොදා ගෙන සමාදන් විය යුතුය.
පෝය
පැරණියන් විසින් පින් කිරීමට වෙන් කරන ලද දිනයෝ පොහෝ දිනයෝ ය. කරන්නා වූ තැනැත්තාගේ ශ්‍රද්ධා ප්රඥාදියේ සැටියට මිස කරන දිනයේ සැටියට පින්වල අඩු වැඩි කමක් නැත. අවුරුද්දේ දවස් සියල්ල ම සිල් සමාදන් වීම් ආදි පින්කම්වලට සුදුසු ය. පෝය දවස් නියමකර ගෙන තිබෙන්නේ, මිනිසුනට නොයෙක් කටයුතු ඇති බැවින් සැමදා ම සිල් සමාදන් විය නොහෙන හෙයිනි. යමකුට ශීල සමාදානයට පෝය දිනයෙහි අනවකාශ වූ අන් දිනක අවකාශ වී තිබේ නම් එදින ඔහුට ශීල සමාදානයට සුදුසු ය. පොහෝ දින විභාගය මෙසේ ය.
අටවක ය, තුදුස්වක ය, පසළොස්වක ය, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යි ප්‍රධාන පෝය සතරෙකි. ශුක්ල පක්ෂය කාලපක්ෂය යි මසකට පක්ෂ කෙක් ඇත්තේ ය. ඒ පක්ෂවල අටවන දිනය අටවක පෝය ය. තුදුස් වන දිනය තුදුස්වක පෝය ය. පසළොස් වන දිනය පසළොස්වක පෝය ය. අවපක්ෂයේ පසළොස් වන දිනයට අමාවකය යි ද මාසේ පෝය යයි ද කියනු ලැබේ. භික්ෂූන් වහන්සේලා වස් එළඹ සිටින තෙමසට ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යි කියනු ලැබේ. චීවර මාසය යි කියනු ලබන මාසය ද එහි පළමු වන පක්ෂය වශයෙන් ගනු ලැබේ.
අෂ්ටාංග ශීලය
නමස්කාර පාඨය තෙවරක් කියා තිසරණය සමාදන් ව මතු දැක්වෙන සික පද අට කියා අෂ්ටාංගශීලය සමාදන් විය යුතුය.
(1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(3) අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(6) විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(7) නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(8) උච්චාසයනමහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සිකපදවල තේරුම
(1) ප්‍රාණඝාතයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
(2) හිමියන් විසින් නුදුන් අන් සතු දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
(3) අබ්‍රහ්මචරියා නම් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
(4) බොරු කීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
(5) මදයට හා ප්‍රමාදයට හේතු වන සුරා මේරය පානයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
(6) නො කල්හි අහර වැළඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
(7) බුදුන් වහන්සේගේ අනුශාසනයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද, බැලීමෙන් හා ඇසීමෙන් ද, මල් ගඳ විලවුන් දැරීමෙන් ද, ඒවායින් සිරුරේ අඩු තැන් පිරවීමෙන් ද, සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
(8) උසසුන් මහසුන්වල හිඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සික පදය බිඳෙන්නේ ය.
උච්චාසයන යනු මධ්‍යම පුරුෂයාගේ අතින් රියනකට වඩා උස් වූ පා ඇති අසුන් ය. මෙ කල උච්චාසයන භාවිතයක් දක්නට නැත. මහාසයන යනු බොහෝ සුව ගෙන දෙන්නා වූ ආසනයෝ ය. මහා සයනයට අයත් වන අසුන් බොහෝ ගණනක් විනයෙහි දක්වා තිබේ. ඒවායින් බොහෝ වක් මෙකල භාවිත කරන අසුන් නො වේ.
අටසිල් සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු ආකාරය
පොහෝ දිනයන්හි උදෑසනින් නැගිට ශරීරය පිරිසිදු කර ගෙන අහර වළඳා සුදු වත්හැඳ පොරවා සිල් සමාදන් විය යුතු ය. සුදුවත් නැති කල්හි තමාට ඇති පිරිසිදු වතක් හැඳ සිල් සමාදන් වූවාට වරදක් නැත. පෙරවන්නට වතක් නැතිනම් නො පොරවා සිල් සමාදන් වූවාට ද වරදක් නැත. සිල් සමාදන් වීමෙන් පසු සුවඳ මල් ආදිය ඇතිනම් ඒවා පුදා තුනුරුවන් වැඳීම කළ යුතු ය. මල් ආදිය නැති කල්හි වන්දනාව පමණක් වුව ද කළ යුතුය. ඉක්බිති විවේක ස්ථානයකට එළඹ තමා සමාදන් වූ ශීලය සිකපදයක් පාසා මෙනෙහි කොට ප්‍රීතිය උපදවා ගත යුතුය. ඉක්බිති භාවනා කිරීමෙන් හෝ බණ ඇසීම බණ කීම බණ පොත්පත් කියවීම යන මේවායින් යම් කිසිවක් කරමින් කල් යවා දවල් දානය ගන්නා වෙලාව පැමිණි කල්හි ආහාරය සැපයෙන තැනකට ගොස් සන්සුන් ව ආහාර කිස කොට නිමවා, ක්ලාන්ත ගතිය ඇතිනම් ඇසිල්ලක් සැතපී නැගිට පෙර සේ ම රත්නත්‍රය වැඳ පුදා, විවේක ස්ථානයකට එළඹ ශීලය මෙනෙහි කොට භාවනා කිරීම් ආදියෙහි යෙදී සවස් වූ පසු කැමති නම් තවත් වරක් සිල් සමාදන් වී රාත්‍රී කාලය ද භාවනා කිරීම් ආදියෙන් හැකි තාක් කාලය ගත කොට සැතපී පසු දින තුනුරුවන් වැඳ පුදා දෙවියන්ට හා මිය ගිය ඤාතීන්ට ද සියලු සත්ත්වයන්ට ද පින් පෙත් දී තෙමේ ද යම් කිසි ප්‍රාර්ථනයක් කොට සිල් පවාරණය කළ යුතු ය.
පිනක් කළ කල්හි කෙලෙස් වැඩීමට හේතු නොවන සසර දික් වීමට හේතු නො වන යම් කිසි ප්‍රාර්ථනයක් කළ යුතු ය. “ඉජ්ඣති භික්ඛවෙ! සීලවතො චෙතො පණිධි විසුද්ධත්තා” යි වදාළ පරිදි ප්‍රාර්ථනය සිදු වන්නේ ද සිල්වතාට ම ය. දුශ්ශීලත්වය ප්‍රාර්ථනය සිදු වීමට බාධාවෙකි.
ජලයෙහි පියවි ඇසට නො පෙනෙන කුඩා සතුන් සමහර විට සිටිය හැකි බැවින් සිල් සමාදන්ව සිටින කාලයේ දී පැන් පෙරා පරිභෝගයට ගත යුතු ය. අනුන් අයිති තණ පතක් පමණ දෙයකුදු හිමියන්ගෙන් නො විචාරා නො ගත යුතු ය. බ්‍රහ්මචරියාව පිරිසිදු වනු පිණිස ඖදාරික මෛථුනයෙන් පමණක් නො ව සප්ත මෛථුනයෙන් ම වැළකී විසිය යුතු ය. කතා කරත හොත් සිල් රකිනවුන් විසින් හළ යුතු දෙතිස් කථාවට අයත් නො වන දැහැමි කතාවක් ම කළ යුතු ය. ඉර මුදුනට එන්නට මත්තෙන් අහර වළඳා මුව පිරිසිදු කර ගත යුතු ය. නැටුම් නො බැලිය යුතු ය. ගීත නාද තූර්ය්ය නාද නො ඇසිය යුතුය. ඒවායින් සිල් බිඳෙන්නේ ඕනෑ කමින් බැලීම හා ඇසීම කිරීමෙනි. තමා අන් කරුණක් සඳහා යන කල්හි අතර මග දී මුණ ගැසීමෙන් හෝ තමා ඉදිරියට ඇවිත් නටන කල්හි දැකීමෙන් හෝ ශීලය නො බිඳේ. ගැයුම් වැයුම් පිළිබඳව ශීල භේදය වන සැටි ද ඒ නියායෙන් තේරුම් ගත යුතු ය. සුවඳ ඇඟ ගැල්වීම මල් පැළඳීම නො කළ යුතු ය. රන් රිදී ආභරණ ද මල් සංඛ්‍යාවෙහි ලා සැලකිය යුතුය. එක් රියන් හමාරකට වඩා උස් පා ඇති අසුන්වල නො හිඳිය යුතුය. පුළුන් පුරවා කුෂන් කළ ඇඳ පුටුවල ද පුළුන් මෙට්ටවල ගුදිරිවල ද නො හිඳිය යුතු ය. සතුන්ගේ පා වැනි විසිතුරු පා ඇති අසුන්වල නො හිඳිය යුතු ය. ඇවිදීම අඩු කොට විවේක ස්ථානවල විසිය යුතුය.
ශීලය මෙනෙහි කරන ක්‍රමය
(1) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
(2) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව ඇද නැති පිරිසිදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
(3) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව පිරිසිදුව වාසය කරන්නාහ. මම ද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
(4) රහතන් වහන්සේලා දිවි හිමියෙන් බොරු කීමෙන් වැළකී සෑම තැනදී ම සත්‍යය පාවිච්චි කරමින් අවංක ව වාසය කරන්නාහ. මම ද අද බොරු කීමෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
(5) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සුරාමේරය පානයෙන් වෙන්ව වාසය කරන්නාහුය. මම ද අද සුරාමේරය පානය හැර රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
(6) රහතන් වහන්සේලා දිවි හිමියෙන් නො කල්හි අහර වැළඳීමෙන් වෙන්ව වාසය කරන්නාහු ය. මම ද අද නො කල්හි ආහාර වැළඳීමෙන් වෙන් වී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
(7) රහතන් වහන්සේලා දිවි හිමියෙන් කුශල පක්ෂයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් ආදිය කිරීමෙන් ද කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන ද මල් පැළඳීමෙන් ද සුවඳවලින් හා විලවුන්වලින් ශරීරය සුවඳ කිරීමෙන් ද වර්ණවත් කිරීමෙන් ද අඩු තැන් පුරවා සැරසීමෙන් ද වැළකී සිටින්නාහු ය. මම ද අද එසේ රහතන් වහන්සේලාට අනුව පිළිපදිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
(8) රහතන් වහන්සේලා දිවි හිමියෙන් උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී සිටින්නාහ. මම ද අද උසසුන් මහසුන් පරිභෝගයෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
මෙසේ සික පදයක් පාසා මෙනෙහි කරනු. මෙසේ මෙනෙහි කිරීමෙන් ශීලමය කුශල රාශියක් සිදුවේ.
සප්ත මෛථුනය
(1) ස්ත්‍රීන් විසින් කරන නෑවීම් ඇඟ ඉලීම් අත්පා පිරිමැදීම් ආදිය පිළිගැනීම ඒවාට සතුටු වීම.
(2) ස්ත්‍රීන් හා කෙළි කවටකම් කිරීම ඔවුන්ගේ ඇඟේ සැපෙමින් ක්‍රීඩා කිරීම ඔවුන් හා මහත් කොට සිනාසීම යන මේවායින් සතුටු වීම.
(3) ස්ත්රීන්ගේ රූපය බල බලා සතුටු වීම.
(4) ස්ත්රීන්ගේ හඬ අසමින් සතුටු වීම.
(5) පෙර ස්ත්‍රීන් හා කළ කෙලි සිනා ආදිය සිහි කරමින් සතුටු වීම.
(6) පස් කම් සැප විඳින්නා වූ අන්‍යන්ගේ සම්පත් බලා සතුටු වීම.
(7) රක්නා වූ මේ ශීලයෙන් දෙවියෙක් වෙම්වායි පතා ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම, ලෝභ කිරීම.
මේ කරුණු සතට සප්ත මෛථුනය යි කියනු ලැබේ. මෙය පුරුෂ පක්ෂයට ගැලපෙන සැටියට දක්වන ලද්දකි. ස්ත්රීන්ගේ සප්ත මෛථුනය ද පුරුෂයන්ගේ වශයෙන් කිය යුතුය. ඖදාරික මෛථුනයෙන් වැළකුණේ ද මේ කරුණුවලින් නො වැළකෙන තැනැත්තාගේ බ්‍රහ්මචර්‍ය්‍යාව අපරිශුද්ධය.
සිල් සමාදන් වූවන් විසින් හළ යුතු දෙතිස්කථාව
(1) රජුන් පිළිබඳ කථා ය,
(2) සොරුන් පිළිබඳ කථා ය,
(3) රජ ඇමතියන් පිළිබඳ කථා ය,
(4) සේනා පිළිබඳ කථා ය,
(5) භය පිළිබඳ කථා ය,
(6) යුද්ධ කථා ය,
(7) කෑම පිළිබඳ කථා ය,
(8) බීම පිළිබඳ කථා ය,
(9) ඇඳුම් පිළිබඳ කථා ය,
(10) යහන් පිළිබඳ කථා ය,
(11) මල් මාලා පිළිබඳ කථා ය,
(12) සුවඳ පිළිබඳ කථා ය,
(13) නෑයන් පිළිබඳ කථා ය,
(14) රථ වාහන පිළිබඳ කථා ය,
(15) ගම් පිළිබඳ කථා ය,
(16) නියම් ගම් පිළිබඳ කථා ය,
(17) නගර පිළිබඳ කථා ය,
(18) ජන පද පිළිබඳ කථා ය,
(19) ස්ත්‍රීන් පිළිබඳ කථා ය,
(20) ශූරයන් පිළිබඳ කථා ය,
(21) වීථි පිළිබඳ කථා ය,
(22) වැව් පොකුණු ආදි ජල ස්ථාන පිළිබඳ කථා ය,
(23) මියගිය නෑයන් පිළිබඳ කථා ය,
(24) නො කියවුණු නොයෙක් දේ පිළිබඳ නිර්ථක කථා ය,
(25) විතණ්ඩ කථා නම් නුවණැතියන්ගේ සිත් තැළෙන කථා ය,
(26) මුහුද පිළිබඳ කථා ය,
(27) ශාස්වත වාදය පිළිබඳ කථා ය,
(28) උච්ඡේද වාදය පිළිබඳ කථා ය,
(29) දියුණුව පිළිබඳ කථා ය,
(30) පිරිහීම පිළිබඳ කථා ය,
(31) පස්කම් සැප පිළිබඳ කථා ය,
(32) ආත්ම පෙළීම පිළිබඳ කථා ය යන මේ දෙතිස් කථාවෙන් සිල් රක්නවුන් විසින් වැළකිය යුතු ය.
නවාඞ්ග ශීලය
අෂ්ටාඞ්ග ශීලයට අයත් අංග අටට නව වන අංගයක් වශයෙන් මෛත්‍රිය ද එකතු කොට අඞ්ගුත්තර නිකාය නවක නිපාතයෙහි “නවහි භික්ඛවෙ! අඞ්ගෙහි සමන්නාගතො උපොසථො උපයුත්ථො මහප්ඵලො හොති මහානිසංසෝ” යනාදීන් නවාඞ්ග ශීලය වදාරා තිබේ. මෙය වඩා ප්‍රසිද්ධියට පැමිණි ශීලයක් නොවේ. එය සමාදන් වන කල්හි අෂ්ටාංග ශීලයට අයත් සික පදවලට අවසානයට “සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතනා විහරණං සමාදියාමි” යන සික පදය කියා සමාදන් විය යුතුය. “සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමි ය” යනු එහි තේරුම ය. මේ ශීලය පුද්ගලාධ්‍යාසය අනුව මෛත්‍රී භාවනාව නව වන අඞ්ගය කොට දේශනය කරන ලද්දකි. මෙය සමාදන් වන්නහු විසින් හැකිතාක් මෛත්‍රී භාවනාව කොට නව වන අඞ්ගය සම්පූර්ණ කළ යුතු ය.
දශ ශීලය
අඞ්ග දහයක් ඇති ශීලය දස ශීලය යි. එය පොහෝ දිනයන්හි රක්නා ශීලයක් සැටියට හා නිත්‍ය ශීලයක් වශයෙන් ද රැකිය හැකි ය. එහි සිකපද මෙසේ ය.
(1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(3) අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(6) විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(7) නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(8) මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(9) උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(10) ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මේ සික පදවල තේරුම අෂ්ටාංග ශීලය දැක්වීමේ දී දක්වන ලදි. අෂ්ටාංග ශීලයේ සත්වන සික පදය මෙහි සික පද දෙකක් වශයෙන් ගෙන තිබේ. දස වන පදයේ තේරුම, රන් රිදී හා ඒවා වෙනුවට පාවිච්චි කරන මිල මුදල් පිළිගැනීමෙන් ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමිය යනුයි. මේ ශීලය රක්නවුන් විසින් මුදල් පරිහරණය නො කළ යුතු ය.
ධුතාඞ්ග සමාදන් වීමේ පිළිවෙළ
සිල් රක්නා පින්වතුන්ට වැඩි දුරටත් අල්පේච්ඡතාදි ගුණ දියුණු කර නිවන් ළංකර ගැනීමට ධුතාංගයෝ උපකාරක වෙති. ධුතාංග තෙළෙසකි. ඒ සියල්ල ම රැකිය හැක්කේ පැවිද්දන් විසිනි. ඒකාසනිකාංගය, පත්ත පිණ්ඩිකාංගය යන දෙක උපාසකෝපාසිකාවන්ට ද රැකිය හැකිය. වැඩි දුරටත් ගුණදම් පුරුදු කරනු කැමති පින්වතුන් විසින් සිල් සමාදන් වීමෙන් පමණක් නො නැවතී සිල් සමාදන් වන දිනයන්හි ඒකාසනිකාංග, පත්තපිණ්ඩිකාඞ්ග දෙකින් එකක් හෝ දෙකම හෝ සමාදන් වී රක්ෂා කිරීම ද මැනවි. ඒකාසනිකාංගය සමාදන් වන්නේ මෙසේ ය. උදෑසන යම්කිසි ආහාරයක් නො වළඳා සිල් සමාදන් වී “නානාසන භෝජනං පටික්ඛිපාමි, එකාසනිකංගං සමාදියාමි” යන වාක්‍යය තුන් වරක් කියා හෝ සිතා හෝ ඒකාසනිකාංගය සමාදන් විය යුතු ය.
නොයෙක් ඉඳුම්වලින් ආහාර වැළඳීම අතහරිමි, එක් හිඳීමකින් වළඳන්නා වූ අංගය සමාදන් වෙමිය’ යනු එහි තේරුම යි. මෙහි නානාසනය යි කියනුයේ නොයෙක් වර හිඳ ගන්නා හිඳුම්වලට ය. ඒකාසනය යි කියනුයේ එක්වර හිඳ ගැනීමට ය. මෙය සමාදන් වූ තැනැත්තා විසින් එක් වරකට ම මුළු දවසට ම සෑහෙන ආහාර වැළඳිය යුතු ය. එදින නැවතත් ආහාරයක් ගතහොත් ධුතාංගය බිඳේ. ගිලන්පස වැළඳුවාට වරදක් නැත.
‘දුතියක භාජනං පටික්ඛිපාමි, පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ යන වැකිය තුන් වරක් කියා හෝ සිතා පත්තපිණ්ඩිකාංගය සමාදන් විය යුතුය. ‘දෙවන භාජන ප්‍රතික්ෂේප කරමි. පත්තපිණ්ඩිකාංගය සමාදන් වෙමිය’ යනු එහි තේරුම ය. මෙය රක්නා තැනැත්තා විසින් වළඳන අහර සියල්ල ම එකවර එක් භාජනයකට ගෙන වැළඳිය යුතුය. මිශ්‍ර වූ කල්හි වැළඳිය නොහෙන ආහාරයක් වේ නම් එය වළඳන භාජනයට ගෙන පළමු ව හෝ පසුව වැළඳිය යුතු ය. දෙවන භාජනයක් වශයෙන් කෙසෙල් පතකුදු ගතහොත්, ධුතාංගය බිඳේ. ආහාරය පිළිගන්නා කල්හි ද පමණ ඉක්මවා නො ගෙන සෑහෙන පමණට පිළිගත යුතු ය. මේ ධුතාංග දෙක ම එකවර සමාදන් වී රැකිය හැකි ය.
සිල් රැකීමේ අනුසස්
“පඤ්චිමේ භික්ඛවේ! ආනිසංසා සීලවතො සීල සම්පදාය. කතමේ පඤ්ච? ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං භික්ඛවෙ පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවතො සීල සම්පදාය කල්යාණො කිත්ති සද්දො අබ්භූග්ගච්ඡති. අයං භික්ඛවෙ දුතියො ආනිසංසො සීලවතො සීල සම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තිය පරිසං වා යදි බ්‍රාහ්මණ පරිසං වා යදි ගහපති පරිසං වා යදි සමණ පරිසං වා විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, අයං තතියෝ ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං භික්ඛවෙ චතුත්ථො ආනිසංසො සීලවතො සීල සම්පදාය, පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. අයං භික්ඛවෙ පඤ්චමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය.”
මෙයින් ශීලයෙන් ලැබෙන අනුසස් පසක් ප්‍රකාශිත ය. මහත් වූ භෝගස්කන්ධයක් ලැබිය හැකි බව ය, යහපත් කීර්තියක් ඇති වන බව ය. ඕනෑම පිරිසකට නිර්භීත ව යා හැකි බව ය, නො මුළා වී කාල ක්‍රියා කරන බව ය, මරණින් මතු ස්වර්ගයට පැමිණෙන බව ය යන මේ පස එයින් ප්‍රකාශිත ශීලානිසංසයෝ ය.
සාසනෙ කුල පුත්තානං - පතිට්ඨා නත්ථි යං විනා
ආනිසංස පරිච්ඡේදං - තස්ස සීලස්ස කො වදෙ.
මේ ශාසනයෙහි කුල පුත්‍රයනට ශීලය හැර අන් පිහිටෙක් නැත. ඒ ශීලයාගේ ආනිසංස පරිච්ඡේදය කවරෙක් කීමට සමත් වේද? කිසිවෙක් සමත් නොවේ ය යනු මෙහි අදහස ය. ශීලයෙන් කිය නොහෙන තරමේ අනුසසක් ලැබෙන බව එයින් ප්‍රකාශිත ය. කෙටියෙන් කියත හොත් සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තිය ම ශීලයෙන් ලැබෙන බව කිය යුතු ය.